කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
යහපත් තෝරාගැනීම
"නුඹලාගේ ශරීරයේ අවයවයන් පාපිෂ්ඨකමට උපයෝගිවන භාණ්ඩයක් නොවන ලෙසට ඒවා පාපයේ නපුරුකමට ඔප්පු නොකරල්ලා. නුමුත් නුඹලා මරණය තුළින් ජීවනයට ගෙනාවාවූ අය ලෙසින්, දෙවියන්වහන්සේට භාර වෙමින්, නුඹලාගේ ශරීරයේ අවයවයන් ධර්මිෂ්ඨ කමට උපයෝගිවන භාජනයක් ලෙසට, ඒවා ධාර්මිෂ්ඨ කම උදෙසා ඔප්පුකරපල්ලා." -රෝම 6:13
වර්තමානයේ අප ජීවත්වෙන සියලු ජන සමාජයන්, තම තමුන්ගේම කැමැත්තට අනුව යමක් තෝරා ගැනීමට හැකිවීම උසස් කොට සලකයි. අපි සැමවිටම අපගේ පුද්ගලික අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීමට එසේ අපි කැමති දේවල් පමණක් තෝරා බේරා ගැනීමට උනන්දු වන්නේ එය මිනිස් ස්වභාවයද වන නිසායි.
මේ මිනිස් ගතිය ගෙනදුන් ප්‍රතිඵලය වන්නේ, තෝරා ගැනීම පිණිස දිනපතා අප වෙත ඉදිරිපත් කෙරෙන්නාවූ දේවල්වල ප්‍රමාණයද වැඩි වීමයි.
උදාහරණයක් හැටියට පාන්ගෙඩියක් මිලදී ගැනීමට කඩයකට යන අපට; තැටි පාන්, අච්චු පාන්, සැන්ඩ්විච් පාන්, බටර් පාන්, පමණක් නොවේ, දර අඟුරු බේකරියේ පුච්චපු පාන්, ගෑස් බේකරියේ පුච්චන පාන්, යන මෙකි නොකී සෑම වර්ගයක පාන් ගෙඩි වලින් තමා කැමති එකක් තෝරා ගැනීමට සිදුවෙයි.
මෙවැනි විවිධාකාර පාන් වර්ග විකුණන පිණිස අප ඉදිරියේ තබා තිබෙන්නේ, ඒවා මිලදී ගැනීමට යාමේදී අපිත් අපට කැමතිදේ පමණක් තෝරා ගැනීමට දක්වන උනන්දුවද හේතු කරගෙනයි.
නුමුත් අවුරුදු තිහකට හෝ හතළිහකට ඉහතදී කඩයක විකිනීමට තබා තිබුනේ පාන් වර්ග දෙකකි. ඒවා නම් පාන් හෝ රෝස් පාන් යන වර්ග දෙක පමණි.
එකල දත්බෙහෙත් වර්ග තිබුනේද එකක් නැතිනම් දෙකක් පමණි. නුමුත් අද දවසේ දත්බෙහෙත් වර්ග පමණක් තිහකටත් වැඩියෙන් වෙළෙඳපොළේ විකිණීම සඳහා ප්‍රදර්ශනය කෙරෙයි.
නගරයේ ඇති සාමාන්‍ය බඩු කඩයක තිබුණ භාණ්ඩ වර්ගවල වල ගුණිතය ගැන බැලුවිට පවා එය සියක් නැතිනම් දෙසීයක් යැයි කිව හැක. එබැවින් අපට උවමනා දේවල් මිලදී ගැනීමට අපි කඩ හතර පහකට ගියෙමු. නුමුත් වර්තමානයේ දී භාණ්ඩ වර්ග දස දහස් ගණනින් පිරී පවතින සුපර්මාකට් වල එකම දේ විවිධාකාරයෙන් වර්ග කොට ගොඩ ගසා තිබෙයි.
එකල ඔබ ක්‍රිස්තියනි භක්තිකයෙකු වුයේ නම්, එක්කෝ ඔබ කතෝලික සභාවට අයත් ඇදහිලිවන්තයෙකු ලෙසින් පෙනිසිටියි. එසේ නැතිනම් ඔබ එංගලන්ත සභාවට අයත් ඇදහිලිවන්තයෙකු ලෙසින් පෙනිසිටියි. නුමුත් වර්තමානයේ අප අතර සිය ගණනකටත් වැඩියෙන් පෙනීසිටින විවිධ ක්‍රිස්තියානි නිකායවල් තිබෙනු පෙනෙයි.
මුල් කාලයේ තිබුණු ඒ එක කතෝලික සභාව පවා වර්තමානයේදී නිකායන් ලෙසින් කණ්ඩායම් තුන්සීයකටත් වඩා බෙදී ලොවපුරාම විසිර පවතියි.
වර්තමානයේ අප ඉදිරියේ ඇති මේ නිදහස ගැන අපි ආඩම්බර වන්නෙමු. ඒ තුලින් ලබාගත හැකි වාසියද අප ඉහලින් භුක්ති විඳින්නෙමු. ඒ නිසාම අපිත් අපගේ ජිවිතයේ ලෞකික මෙන්ම ආත්මික පැත්තද අපගේ මේ පුද්ගලික කැමැත්තට ලොල්වූ ඒ තෝරාගැනීමට අනුව පමණක් ක්‍රියාවට නැගීමටත් හුරුවී සිටින්නෙමු.
ඒ නුමුත් ඇදහිලිවන්තයන් හැටියට තම ආත්මික ක්‍රියාකාරකම්ද තම නිදහසට අනුව කිරීමට යාමේදී එතුල විශාල අවදානමක්ද තිබෙන බවත් රෝමයේ තිබුන ඒ දේව සභාවට පාවුල් තුමා යැවූ ලිපිය පෙන්වාදෙයි.
ඇදහිලිවන්තයන් හැටියට සියලු බැඳීම් වලින් නිදහස ලබා සිටින අපටත් ඕනෑම දෙයක් අපගේ කැමැත්ත අනුව කිරීමේ නිදහස අප ඉදිරියේ පවා තිබුනත්; අප ඉදිරියේ ඇති ඒ නිදහස අපව නැවත වාරයක් වහල්කමට පත් කිරීමට අවස්ථාවක් කර නොගන්නා ලෙසින් පවුල් තුමා රෝමයේ සිටි ඇදහිලිවන්තයන්ට අවවාද කර සිටින්නේ, නිදහස යන ඒ රාමුවටත් සීමාවන් තිබෙන බවත් ඇදහිලිවන්තයන් වන අපට මතක් කරදීමටයි.
"එසේ වී නම් කිමෙක්ද?
අපි ව්‍යවස්ථාව යටතෙහි නොව නුමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල කරුණාව යටතෙහි සිටින නිසා පව් කරමුද?
එසේ නොවේවා!
නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම බාරදෙන්නහුද,
එය මරණයට පමුණුවන්නාවූ පාපය වේවා,
ධර්මිෂ්ඨ කමට පමුණුවන්නාවූ කීකරුකම වේවා,
නුඹලා කීකරුවූ ඒ දෙයට නුඹලා යටත් වෙන බව නොදනිව්ද?"
-රෝම 6:16
අපගේ ලෞකික ජීවිතයේ පහසුව වෙනුවෙන් බොහෝ තෝරා ගැනීම අප ඉදිරියේ තිබුණත්, අපගේ ආත්මික ජීවිතය ගැන සලකා බැලීමේදී ඒ වෙනුවෙන් අපට ඇත්තේ "එකම එක" තෝරා ගැනීමක් පමණක් බව දේව වචනය පැහැදිලි කරයි.
ඒ අනුව ඇදහිලිවන්තයන් වන අපට අපගේ "ආත්මික ජීවිතයේ" දියුණුව උදෙසා ඇත්තේ "එකම එක" තෝරා ගැනීමක් පමණක් නම්, අපි ඒ ගැන ඥාණවන්තව ක්‍රියා කල යුතු වන්නේ, කිසිම හේතුවක් නිසා හෝ අප විසින් අපට ඇති ඒ එක අවස්ථාව මඟ හැර නොගන්නා පිණිසයි.
ඇදහිලිවන්තයන් හැටියට ඒ ගැනත් අප උනන්දු විය යුතු වන්නේ, මරණයෙන් මතුවට ඇති අපගේ සදාකාල ජීවිතයේ රඳා පැවැත්ම ඒ තීරණය මත රැඳී තිබීමේ හේතුවයි.
එබැවින් මරණයෙන් මතුවටත් ජිවත්වන අපගේ මේ ආත්මයේ සහජීවනය වෙනුවෙන් අප මොලොව ජීවත්ව සිටියේදී කරන්නා වූ සෑම සියලු ක්‍රියාවක ප්‍රතිඵලයන්ද අප ගන්නාවූ මේ "තීරණය උඩ" පමණක් ස්ථිර වෙයි.
එසේ නම් අපට ඇති ඒ එකම එක අවස්ථාව මඟ හැර ගැනීමද මෝඩකමකි.
මනුෂ්‍යය ජීවිතය යනු ශාරීරික එකක් පමණක් නොව නුමුත් මිනිසා ආත්මික අයෙක්ද වන බැවින්, අපගේ මේ ශාරීරික ජීවිතයත් සමග එකට බැඳී තිබෙන ඒ ආත්මික ජීවිතය ගැනත් උනන්දු නොවී සිටීමේ ප්‍රතිඵලය බලපාන්නේ අපගේ ආත්මික පැත්තට පමණක් වන අතර ඒ යථාර්තයට අප මුහුණ දෙන්නේද මරණින් පසුවයි.
එතුල ඇති කණගාටුදායක කාරණය වන්නේ, මරණින් පසුව ඒ ගැන යමක් කිරීමට අවස්තාවක් අපට නොමැති වීමයි. ඊට අමතරව ඒ තුල ඇති අනෙක් භයානක පැත්ත වන්නේ, මළාවූ අප වෙනුවෙන් ජීවත්ව සිටින අපගේ නෑදෑ හිතවතෙකුට පවා අපගේ ඒ ආත්මික පැත්ත වෙනුවෙන් යමක් කල නොහැකි වීමේ හේතුවයි.
ඒ හේතුව නිසාම අප සියලු දෙනා සතු අපගේ ඒ ආත්මික පැත්ත වෙනුවෙන් ඇති වගකීම අප එකිනෙකා පිට පමණක් පැවරෙයි. මොලොව අපගේ ලෞකික ජිවිතයේ සියලු වගකීම් අප පිට පැවරෙනවා වාගේම මරණින් පසුව අප මුහුණ දෙන ඒ සදාකාලික ජිවිතයේ වගකීමද අප පිට පමණක් පැවරෙයි.
අපගේ ජිවිතයේ "ස්වාමියා" හැටියට මෙලොව අප ජීවත්ව සිටියේදී තෝරා ගන්නේ කවුද? මෙන්ම අපගේ ජිවිතයේ පාලනය අපි කැමැත්තෙන්ම බාරදෙන්නේ කාටද?" යන මේ තීරණයේ ප්‍රතිඵල අපගේ මොලොව ජිවිතයට පමණක් නොව නුමුත් එය මරණින් මතුවටත් ජිවත්වන අපගේ ආත්මයේ යහපත වෙනුවෙන්ද බලපාන තීරණයක් බව පවුල් තුමා රෝම සභාවට පැහැදිලි කරයි. ඒ බැවින් මේ තීරණය ඇදහිලිවන්තයන් වන අපිට පමණක් නොව නුමුත් දෙවියන් නොදන්නා පුද්ගලයන්ට පවා වැදගත් වන්නේ, ඒ තුල අප එකිනෙකාගේ අවසානයද තීරණය වී තිබෙන නිසායි.
අප ක්‍රිස්තියානි පවුලක උපත ලද නිසාවත් හෝ අපි ආගමික චාරිත්‍ර පැවැත්වීම නිසා හෝ ආගමික කටයුතු වලට වියදම් කල හේතුව නිසාවත් හෝ නොව නුමුත් එය අපගේ තෝරාගැනීමට අනුව පමණක් තීරණය වන බව පවුල් තුමා පෙන්වා දෙන්නේද ඇදහිලිවන්තයන්ට බවත් මෙහිදී අප අවබෝධකර ගත යුතු වන්නේ එය නොඇදහිලිවන්තයන්ට පමණක් බලනොපාන හේතුවද නිසායි.
එබැවින් අපගේ පුද්ගලික කැමැත්තට අනුව අප අපගේ සවාමියා ලෙසින් අපගේ ජීවිතය දෙවියන්වහන්සේට බාරදී ජිවත්වනවාද? නැතිනම් අපි අපගේ සවාමියා ලෙසින් අපගේම කැමැත්තට ඉඩදී අප ඉදිරියේ ඇති ඒ නිදහස ප්‍රයෝජනයට ගනිමින් ඒ තුල ජිවත්වනවාද? යන මේ ප්‍රශ්න දෙකට අප පිළිගත් විසඳුම ඒ ඉදිරිය තීරණය කරයි.
අපගේ ආත්මික පැත්ත වෙනුවෙන් අප ඉදිරියේ ඇති තෝරාගැනීම ලෙසින් පවුල් තුමා රෝම පොතේ පෙන්වාදෙන්නේ;
"අප මරණයට පමුණුවන්නාවූ පාපයට වහල්ලුන් වී ජීවත්වීම" යන ඒ තෝරා ගැනීම අප තෝරා ගන්නවාද? නැතිනම්
"අප ජිවණයට පමුණුවන්නාවූ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට කීකරුව ජීවත්වීම " යන ඒ තෝරාගැනීම අප තෝරාගැනීමට තීරණය කරනවාද ? යන ප්‍රශ්නය පවුල් තුමා රෝම සභාවේ මිනිසුන්ගෙන්ද අසා සිටින බව පැහැදිලිව පෙනෙයි.
මෙහි සරල තේරුම වන්නේ, අපගේ මරණින් මතුවටත් ජිවත්වන අපගේ මේ නොමැරෙන ආත්මය, මරණයෙන් පසුව ඇති ඒ සදාකාලය ගත කිරීමට තීරණය කරන්නේ කා සමගින්ද ? යන තීරණය ගැනයි. එසේම මෙලොව අප ජීවත්ව සිටියෙදීම (මරණයට මුහුණදීමට කලින්) අපි ඒ ගැන තීරණයකට එළඹී සිටිය යුතු බවත් ඔහු එහි පවසා සිටින්නේ මරණින් පසුව ඒ ගැන අපට කිසිවක් කල නොහැකි නිසායි.
ඒ ගැන අපට ඇති තෝරා ගැනීම එය පමණක් බව පෙන්වාදෙන පාවුල් තුමා එහි පෙන්වාදෙන අනෙක් වැදගත් කාරණය වන්නේ, මේ දෙකම තෝරා ගැනීමේ හැකියාව අපට නොමැති බවයි. එබැවින් ඒ වෙනුවෙන් අප ගන්නාවූ ඒ එක තෝරා ගැනීම මත පමණක් අපගේ ඉදිරි ජීවිතය නොහොත් සදාකාල ජීවනය (ආත්මික පැත්ත) ගොඩනැගෙන බවද ඔහු පෙන්වාදෙයි.
ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන් හැටියට අප ඉදිරියේ ඇති ඒ නිදහස මුවාවෙන් පාපය තෝරාගෙන, දිගින් දිගටම එහිම පැවතෙමින් , යේසුස් වහන්සේ තුලින් මට සමාව තිබෙයි යනුවෙන් ඒ නිදහස ගැන සිතමින් දේව වචනයට අකීකරු ජිවිතයක් ජීවත්වන්නේ නම්, එය අපම රවටා ගැනීමක් වන්නේ දේව වචනයේ එවැනි අවස්ථාවක් අපට දී නොමැති හේතුවයි.
තවත් එවැනි බොහෝ පිළිගැනීම් වලින්ද අපගේ ආගමික සංස්කෘතිය ගොඩනැගී තිබුනත් මිනිසුන් විසින් තම තමුන්ගේ නිදහස තුල ලෞකික ජීවිතය සතපවා ගැනීමට හදාගත් එවැනි පාරම්පරික පුරුදු අපගේ සදාකාලික ජිවිතයට පිහිටක් ගෙන නොදෙන්නේ ඒවා දේව වචනය උගන්වන ඉගැන්වීම් නොවෙන නිසායි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේසේ තුලින් අපට සමාව ඇති බව සැබෑවකි. ඒ නුමුත් උන්වහන්සේ ගේ ඉගැන්වීම පෙන්වාදෙන්නේ, උන්වහන්සේගේ ඒ කැමැත්තට අනුව ජීවත්වීමට අපිත් තීරණය කලයුතු බවයි. ඒ වෙනුවෙන් උන්වහන්සේට භාරවීමක්ද අවශ්‍යය බවයි. " මා වෙතට එන්න. මාගේ වියගහ කරට ගන්න. එය පහසුය, එයින් ඉගෙන ගන්න." යේසුස් වහන්සේ මෙහි වියගහ යනුවෙන් උන්වහන්සේ අදහස්කලේ උන්වහන්සේගේ කැමැත්ත කිරීමට කරන තීරණය ගැනයි.
දෙවියන්වහන්සේගේ වචනයට කිකරුවිමට තීරණය කිරීම යනුවෙන් අදහස් වන්නේ, අපගේ සිතේ කැමැත්ත සහ නිදහස දෙවියන්වහන්සේට බාරදී ජීවත්වීමට ගන්නා තීරණයයි. යම්කිසි පුද්ගලයෙකු තමාගේ ජිවිතයේ පාලනය දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට යටත් කරගන්නා විට එතුලින් මතුවන ප්‍රතිඵලය වන්නේ, ධර්මිෂ්ඨ කම සඳහා ඵලදැරිම බව පාවුල් තුමා රෝම සභාවේ මිනිසුන්ට පෙන්වාදෙයි. (6:23)
ශුද්ධ කම යන වචනයේ තේරුම වන්නේ, අප ධර්මිෂ්ඨ යයි සිතෙන් මවාගෙන අනෙක් සියලු දෙනාමටම වඩා අපි උතුම් යැයි කියා ගැනීම නොව නුමුත් සිතින් දෙවියන්වහන්සේගේ වචනයට කිකරුවිමට දරන උත්සාහයයි. දෙවියන්වහන්සේට කීකරුවූ ජිවිතයක් ගත කිරීමට උත්සාහ කිරීම ශුද්ධ වන්ත ජිවිතයේ අපට නොපෙනෙන ඇතුල් පැත්තයි.
"නුඹලාගේ ශරීරයේ අවයවයන් පාපිෂ්ඨකමට උපයෝගිවන භාණ්ඩයක් නොවන ලෙසට ඒවා පාපයේ නපුරුකමට ඔප්පු නොකරල්ලා. නුමුත් නුඹලා මරණය තුළින් ජීවනයට ගෙනාවාවූ අය ලෙසින්, දෙවියන්වහන්සේට භාර වෙමින්, නුඹලාගේ ශරීරයේ අවයවයන් ධර්මිෂ්ඨ කමට උපයෝගිවන භාජනයක් ලෙසට, ඒවා ධාර්මිෂ්ඨ කම උදෙසා ඔප්පුකරපල්ලා." -රෝම 6:13
ඒ සඳහා අපගේ ආත්මික ජිවිතයේ වර්ධනය කෙලින්ම බලපාන අතර, අපගේ ආත්මික ජිවිතයේ වර්ධනය හෝ මියයෑමද අප ගන්නාවූ ඒ තෝරා ගැනීම මත පමණක් සිදුවෙන බව පාවුල්තුමා මෙහිදී අවධාරණයෙන් පෙන්වාදෙයි.
එබැවින් කිතුනුවන් වන අප දිනපතා අපගේ ආත්මික ජීවිතය ගැන විමසා බැලීමත්, අපගේ තෝරා ගැනීම කුමනාකාරයෙන් තිබේද යන්න ගැන විමසා බැලීමත් ප්‍රයෝජනවත් වන්නේ නිදහස අපව නොමගට යොමුනොකරන පිණිසයි.
ඒ ගැන සිතා බලා ඒ වෙනුවෙන් තීරණයක් ගැනීමට අප තවමත් ප්‍රමාධ නොවන්නේද අප තාම ජිවත්ව සිටින නිසායි. ආත්මයාණන් වහන්සේගේ උපකාරය ඇතුව, අපගේ ආත්මික පැත්ත වෙනුවෙනුත් හරි තෝරාගැනීම තෝරා ගෙන දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පංගුකාරයන් ලෙසින් ජීවත්වීමට තීරණයක් ගැනීම වැදගත් වන්නේ හෙට දවසේ අප ජිවත් වෙනවාද නැද්ද යන්න නොදනසිටිමයි. එබැවින් ජීවත්ව සිටියේදී ඒ තීරණය අවංකව අරගෙන මොලොව ජීවිතය පමණක් නොව නුමුත් මරණින් මතුවට ඇති අපගේ ඒ සදාකාල ජීවිතයත් යහපත් එකක් කරගැනීමට උනන්දු වෙමු.